Wednesday, December 21, 2011

-මොහොතකට පමණක්-

මගේ සිහින ගෙන ගොස්
නුඹෙ නෙතු පියන් යට
තබනු මැන සොඳුර
සැනසීමක් ලැබෙයි 
එක මොහොතකට හෝ මට .... _________







Tuesday, November 29, 2011

නුඹ නැති සඳ


හදවතේ ඔයා හිටපු දවස් වලනම්..අදහස් වලින් පිරිල තිබුන ඒත් දැන් හදවත හිස් වෙලා.ආදරේ කියන්නෙ මට අයිති දෙයක් නෙමේ කියලයි මට දැන් හිතෙන්නෙ.ඉස්සර ලියපුකවි,පොඩි පොඩි කතා එකතු කරල පුච්චල දාන්න හිතෙනව.


''පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි..එක්ව කී කතා සවනේ දෝංකාර දෙයි..නුඹ උන්නු තැන හදේ තවමත් හරිම උණුසුමයි..ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි..''



ආදරේ නිසා අපි අපේ හදවත් රිද්දගන්නව වගේම තවත් අයගෙ හදවත් රිද්දනව.කාගෙ හරි අතින් තමන්ගෙ හිත රිදුනොත් හිත හදාගන්න ලේසියි.ඒ දේ තමන්ටනෙ උනේ කියල හිතල අපි කොහොම හරි හිත හදාගන්නව.ඒත් අපි අතින් තව කෙනෙක්ගෙ හිත රිදුනොත්?? තත්ත්වෙ ටිකක් බරපතලයි.සමහර විට ඒ කෙනා සමාව දෙන්න කැමති උනත්..අපි අපිටම සමාව දෙන්න අකමති වෙන්න පුලුවන්.
මේ හැම දේකටම විසඳුම කවදාවත් ආදරේ නොකර ඉන්න එකද? ඔව් සමහරවිට.
අපි හදිස්සි වෙලා සමහර වෙලාවට වැරදි බස් වල නගිනව.එහෙම වුනොත් අන්තිමට වෙන්නෙ අපිව අතරමං වෙන එක.ඒත් ඒ වෙනකොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්.එදාට ආපහු ගෙදර එන්න කාටවත් පාර කියල දෙන්න බැරි වෙයි.හදිස්සියෙවත් වැරදි බස් ව්කකට නැග්ගොත් කරන්න තියෙන දේ ඉක්මන් කරල ඊලඟ හෝල්ට් එකෙන් බැහැගන්න එක.ඊළඟ පාර බස් එකට නඟිනකොට යන්නෙ කොහෙද කියල හොඳට බලල නඟින එක.


එහෙම හදිස්සිවෙලා වැරදි බස් එකකට නැග්ග කෙනෙක්ව මං ලඟම තිබ්බ හෝල්ට් එකෙන් බස්සල ගෙදරට ඇරලුව.පාර නොදැන ගිහින් අතරමං  වෙනවට වඩා නිවැරදි ගමනාන්තයකට යන බස් එකකට නඟින්න තව චාන්ස් එකක් ලැබුනු එක හොඳයි කියල එයාටත් කවද හරි හිතෙයි.


 ''මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ..මං මුලා වූ සමනළියකගෙනි පාර අසා තිබුනේ...ඇයත් නොදන්නිය ඇය යන මානය..උන්හිටි තැන්වල මතකයෙ අඩමානය..පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය..






Saturday, October 15, 2011

අනංගයාට,,,,,,,,,,,

සෙල්ලමකට නුඹ
ගත්තද මගෙ හිත
නැත්තම් නුඹ දැන් 
වයසද හොඳටම,,,

ගන්නට බැරිනම්
නිවැරදි එල්ලය
කුඹුරක් කොටපන්
දුනු හී විසි කර,,

එල්ලය වැරදී
නුඹ එවු හී සර
ඇනිලා මගෙ හද
කඩතොළු වී ඇත,,,

වරදන වරදන
හැම පාරම නුඹ
ගලවල හී සර
එක දෙක හෙමිහිට

''රිදෙනව දන් නම්
හොඳටම මගෙ හිත''




Sunday, September 18, 2011


නුඹට නොදැනෙන මගේ ප්‍රේමය
හිතේ කොනකට හිර වෙලා
නොදැනෙනා ලෙස ඉන්නෙ කොහොමද
මගේ හිත තව රිදවලා
මහමෙරක් ලෙස දැනේ කඳුලක්
නෙතු අගට විත් නලියනා
ඔබ නොකිව්වත් දැනේ මට නම්
නුඹේ ආදරෙ අඩු වෙලා

කිරි සුවඳ මුහු කොට..
සිහින පොදි ගෙන
පුංචි ගවුමේ
මැහුව ගෙත්තම..
බොඳ වුනත්
පොඩි දෝණියේ..

කඳුළු කැට ගෙන
සඟව ගත්තෙමි
ලෝ දහම සිහි වුන
වෙලේ...

ජීවිතය නම් ගඟකි
නොසැලී ගලන ගතවන
හැම පැයේ..
නිසැකයෙන් හමු වෙමු යළිත් අප
ගලන මේ ජීවිත ගඟේ...

‎''හදවත නුඹේ මගෙ නමටම ලියූ වෙලේ
දැන්වත් සිනාසී රැඳියන් මගෙ තුරුලේ''
කිව්වා එදා තනි වූ දා සඳ එළියේ
මතකයි හොඳට මට නම් මේ අද වාගේ
යකඩ වුනත් කලකදි මල කන්නා සේ
අම රස වුනත් කලකදි තිත්තයි වාගේ
අඩසඳ ලෙසින් පෙනුනා පුරසඳ නුඹගේ
හෙවනැල්ලත් ඇදයි කිව්වලු නොකෙරෙන දීගේ

පණ දීගෙන සිටි ආලේ විස වූ සේ
ලඟ සිටි නුඹත් නොකියම ගොස් දුර බැහැරේ
දුන්නත් ඇයට මට දුන් පෙම එක වාගේ
එදා වගේමයි තාමත් මගෙ ආලේ

සිතුවම් කරමි
''ප්‍රේමය''
රතු පැහැ තීන්තෙන්
කැන්වසය පුරාවට,,,,,
නුඹ සහ මම
කළු පැහැයෙන්
තිත් දෙකක් ලෙසින්,,

බලා සිටියෙමි
මොහොතකින්
එක කළු තිතක්
රතු පැහැයේ ගිලී
නොපෙනී යන අයුරුද,,,
අනෙක් කළු තිත
කැන්වස් රාමුවෙන් පිටතට
පලා යන අයුරුද,,,,

එක දවසකට,,,,,
එක රෑකට,,,,
එක හීනෙක,,,,
ඉන්න ඉඩ දුන්නම
තුන්සියහැට පස් දවසෙම
මම ජීවත් වෙන
හීන ලෝකෙ
බදු ගත්තම හරියනවද
මං අහන්නෙ.........
.

උදේ ඉඳන් රෑ වෙනකන්
chat list එක පීර පීර ඔයාව හොයන මං,,,,
ඔයා online එනකන් අවුරුදු ගානක් පරණ
chat history එක කියවන මං,,,
ඔයා online ඉන්නව දැක්ක වෙලාවෙම
පැනපු ගමන් hi කියන මං,,,
hi කියල පැය ගානක් ඔයාගෙන් reply එකක් එනකන්
බලන් ඉන්න මං
''මං ඔයාට ආදරෙයි''
ඔයා මට ආදරේද කියල අහපුවම
මෙ ආදරේ pocket එකට විදින
මහ කාලෙ කන වැඩක් කියල කිව්වම
හිතට මාර සනීපයි,,,,,,,,,,,

ප්‍රේමය''''''


‎''ප්‍රේමය''
නුඹව දුටුවෙමි,,බොහෝ කලකින්
අහම්බෙන් මම,,,
නොදුටුවා සේ යන්න හැරුනත්
නැවත බැලුවෙමි
නුඹේ වත දෙස,,,
අහෝ ප්‍රේමය !
වෙනස් වී නුඹ
අවලස්සනයි දැන්
තරබාරු වී පෙරටත් වඩා,,,
සරාගි නෙත් එළි
නිවී ගොස් ඇත
මුහුණ අඳුරුයි
පැහැය ඇත දැන් සැඟවිලා,,,,
සතුටු වන්නද,,ශෝක වන්නද,,,
කනස්සළු සිත දැක නුඹේ,,,
සිතුවෙනම් මා
ම'හැර ගිය පසු
නුඹට දැන් හරි සරු කියා,,,,,,,
නුඹ සොයා,,,,,ඉගිල ගිය සිත
අහස් කෙළවර,,,,,
බිත්තියේ වැද
මහ හඬක් නංවමින්
යලිත්,,,
මහ පොළොව ,,,
මත පතිත විය,,,,

හමුවීම් සමුගැනීම්
දහසක් මැද
හිත් දෙකක උපනාසේ දැනුන
''ආදරය'' ක් විය
හිතක හසරැල්ලක් ගුලි කල......
එකට එක්වී සිනාසුන නුඹ
කඳුළු පමණක් මට
ඉතිරිකොට
නික්ම යන විට
මා නුඹට දුන්
හදුවක සුවඳ
තැවරූ.....

''ආදරය පණ අදිනවද?''
වෙස්වලාගෙන මා ඉදිරියට
හදිසියෙම පැමිණි ඔබ
''ආදරය''නම් විය
හඳුනන්න බැරි විය

රළු පරළු වුන හිතට
ආදරේ සියුමැලිද
රිදවනා තරමටම
රිදෙනවද නුඹෙ හිතට
ලං වෙනා හැම වරම
දුරක යන හින්දාම
හැර යන්න හිතුවාද
සදහටම සමුගන්න
සිනහවත්...කඳුලත් අතරමැද
හමු වූ නුඹ
මට
ප්‍රේමයම විය

නුඹ ලියූ කවි
මගේ තාලෙන්
සිහින් සුළඟට ගයාපන්

නුඹේ නෙතඟින් 
ගලන ප්‍රේමය
වළාකුළු මත තවරපන්

මා මතක බව
නුඹ මගේ බව
හසුනකින් මට එවාපන්

නුඹෙ සොඳුරු වත
සිනා පිරි මුව
මගෙයි
සැමගෙන් සඟවපන්
ඔයගෙ ආදරෙත් හැමදාම පායන හඳ වගේ..
එන්න එන්න අඩු වෙනව
අඩු වෙලා නැත්තටම නැති වෙලා යනව....
නැති වෙලා ටික ටික මතු වෙනවා
සමහරදාට මදි නොකියන්න
මුළු අහසම වහගෙන පුර හඳ පායනව වගේ
මගේ හිතේ පායනව.......

කැළෑ මල් සිඹිමින් සිට
හිටි හැටියේ අනවසරයෙන්
එදා අප ගමන් ගත් පටු මඟට
කඩා වැදි
අරමුණක් නැති සමනලුන්
නුඹට ලබැඳි වදනින්
මිමිණූ
පෙම් ගී
දෙතොල් උල් කර
උරුවම් බාමින්
යලිත් වා තලයත මුසු කරමින්...
අත නොපොවන දුරක පිපි
රතු රෝස මලක්
ඇයට පෙනවමින්....
මල් උයන මැදින් වැටුනු
මා කියා දුන් පටු මඟ ඔස්සේ
ඈ අත ගෙන පියමනින්නේ
මට පෙම් කල නුඹමද?

හීනයක්ව ඔබ එන්න
රිදුනු හද සනසන්න
පවනක්ව සිප ගන්න
ආදරෙන් ලඟ ඉන්න...
ජීවිතේ දෝතින්ම
රැගෙන ඔබ යළි එන්න
නෙතු පියන් නොවසාම
සිහිනයක සැතපෙන්න....

මොහොතකට හෝ අපිට
ලෝකයෙන් සැඟවෙන්න
අපගේම කිව හැකි
ලෝකයක තනි වෙන්න

එපා මා හැරයන්න
ඔබ මගෙම වී ඉන්න........

Friday, September 2, 2011

රෝස උයනින් එහා ලෝකය........................................... . .


පැමිණෙන්න 
මා දෑත ගෙන
පියමනින්න
විවර වුනු දොර පියන් සහිත
රෝස මල් උයන වෙත..........


තැනින් තැන පිපුණු
දුහුවිලි වැදුනු රෝස මල්
මුමුනාවි උන්ගේ බසින්
අපට පමණක් ඇසෙන විලසින්
අතීත ප්‍රේමවෘතාන්තයන්
කිසිදා අනාවරණය නොවුනු.......


කෙඳිරිලි හඬට
දෙසවන් යොමු නොකරන්න
පෙම්වත...
හඬ නොනැගෙන පරිදි
පියවර තබා
ඇවිද යමු අපි
රෝස මල් උයන අවසන
කිසිදා විවර නොකළ
දිරා ගිය  දොරටුව වෙත....


Sunday, July 24, 2011

ගැටවර කන්ද_______

මහ වනයක් මැද
තමන්ගෙ පාඩුවෙ
බිමත් බලාගෙන
ගලා බහින ගඟ
දැක දැක ඉන්නට
බැරි හැටි කන්ඳට

ඇය දුටු මුල් දින
සිට මේ කන්ඳට
නින්දක් නැති බව
කියනව හරියට

පසු දින අලුයම
හිරු නඟිනා විට
මඟ රැකගෙන හිඳ
''ගුඩ් මෝර්නින් ගඟ''
කියනව හෙමිහිට
නෑසෙන තරමට
අහල පහළ ඉන්නා
කඳු ගැටයට

හොරැහින් බැලුවත්
නොඇසුන ගානට
අඩම්බරයෙන්
ඔරවා කන්ඳට
ඇය යයි සන්සුන්
ගමනින් දිගටම

කහ මල් ගවුමක්
ඇඳ ගී මුමුණන
මිටියාවත පීරා
එන මඳ සුළඟට

කොඳුරා කිව්වලු
කන්දක දුක් ගීතය

ලා නිල් පැහෙයෙන්
දිදුලන ඇගෙ වත
විනිවිද පෙනෙනා
සළු හඳිනා ගත
යන එන විට
කඳු සිඹිනා කෙස් රොද

ඇය දුටු මුල් දින
මගෙ සිත ගත් බව
කියන්න සකිසඳ
ඇය එන මඟ හිඳ






ඉනාව______

මුළු ජීවිතේම පීර පීර හොයපු
ආදරේ,,
කියා දුන්නු හිනාව
ඔයාගෙ මුහුණෙන් දැක්ක වෙලාවෙ
නොදැක්ක වගේ
අහක බලාගත්තනම්
ඇත්තමයි
මගේ හිතට අද මෙච්චර ලෙඩ දුක් නැහැ,,

නුඹ සහ මම __________

නොලැබෙන බව දැන දැනම
වෙන්ව යන්නට මොහොතක් තියා
මගේ හිත මත
ආදරය ලියා
ජීවිතය ලියා නොදීම
හැර දමා ගිය
''නුඹ''

නුඹේ ආදරේ
වෙනකෙකුගේ හදවතින්
සොයමින්
අඳුරේම අත පත ගා
ජීවිතේ සොයන
''මම''

ජීවිතේ ලස්සනයි_________ද?

හැපෙනවා..
වැටෙනවා..
අයෙම නැඟිටිනවා..
හිනා වෙනව..
අඬනවා..
ආදරෙත් කරනවා..
හමු වෙනව..
වෙන් වෙනව..
තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා..
ඒ මොන කරදර තිබුනත්
වෙලාවකට
ජීවිතේ හරි ලස්සනයි..

Thursday, July 21, 2011

වෙඩි වැදුනු සමනළ්ලු________

විලෝ ගස් යාය මැදින් පියාඹා එන
නෙක පැහැති සමනලුන්,,

කඳුකරේ සැඟව
පතොරම් තුවක්කුව
මානා සිටින අනංගයා අතින්
වෙඩි කා මිය යාමට නියමිතය

එක පෙලට පියඹා එන
සමනලුන් එකා දෙන්නා
හදවත හැඩයෙන් සැකසූ
පතොරම් ඉදිරියේ
නිර්භීත පෙම්වතුන් මෙන්
පපුව දී
මිය ගොස්
තණ බිම මත
පතිත වෙති

අතරින් පතර
වෙඩි නොවදින ඇඳුම් හැඳ
කල්තියා සූදානම් වී පැමිණි
සමනලුන් දිවි ගලවාගෙන
නැවතත් විලෝ ගස් අතර සැඟවෙති

කළුවර ගලා එන
හවස් යාමෙට
තණ බිම වෙත පැමිණෙන
පුංචි කොළුවෙකු
මල් පියළි අහුලනු
ඈතට පෙනුන මුත්
එහි පැමිණෙන්නේ
අනංගයාම බවත්
ඔහු අහුලන්නේ මල් පියළි නොව
සමනල් පියාපත් බවත්
විලෝ අතු හොඳින් හඳුනති




Wednesday, July 20, 2011

අව්රෝරා කුමරිය__________


අව්රෝරා කුමරිය
සියවසක නිදි ගැට හැර බලා සිටිනු

නපුරු මායාකාරිය
මග දිගට එලනලද
මායම් දැල ඉරා
සිරුර සම් මස් ඇට
දවායන තරම් රුදුරු
ගිනි දැල් විදින
ලේ පැහැති මකරුන් මරා
එන්නම් නුඹ සොයා,,,

අව්රෝරා කුමරිය
මා එන්නටත් කලියෙන්
කුමර වෙස් ගත්
ගමේ ගොඩේ රස්තියාදුකාර
කොලු ගැටයන් විත්
නුඹෙ දෙතොල සිඹීවි
තවම නිදි මෙන්
දෙනෙත් වසාගත්වනම
සිටින්
මා වෙනුවෙන්ම..

එදවස
මහජන උද්‍යානය වසා සිටි
නා රුක මුල හිඳගෙන
බිම වැටී තිබී
හිස ගැසූ නාමල
තවම සුවඳද??

කුමරිය සොයා එමි
හැකි ඉක්මනින්
සයනයේ වැතිර
දෙනෙත් වසාගෙන
සිටින් නිදිමෙන්
මා විත්
නුඹෙ දෙතොල 
සිඹින තුරු,,


Monday, July 18, 2011

මට නුඹත් එපා__ නුඹෙ කවිත් එපා________

ඔයා සඳ ගැන
ලියන කවි දැන්
කියවලම මට ඇති වෙලා


අහුවුනොත් හෙම
වැරදිලාවත්
දිනෙක මට ඔබ
ඔය කියන සඳ


මඟ තොටේ
යන එන වෙලාවක


කියමි ඔබෙ කවි
එකම හුස්මට...


සඳට වෙන්නේ
ඇගේ කන් වල
කිරළ ඇබ ගෙන 
ගසා ගන්නට



ගී ගයන කඳුල නුඹ_______

ඉකි ගසන හිත
තෙමා සලිත කර
ගලන විට සීතට
ලා පැහැති කඳුලු බිඳ....


ගෙන හෙමින්  ඇඟිල්ලට
ලo කලෙමි
සවනට...


දුර්වල හඬින් ගයන
විලාප ගීය නුඹයි
එහි රැඳුන


- සඳ සාවා වෙතට -

මීට ඉස්සර
කඳුකරේ දුව පැන
ආදරෙන් අපි
හිටියා තුරුළුව

දවසක් ඔයා කිව්ව
හඳට ගිහින්
කිරියි
පැණියි
අරන් එන්නම්,,

වෙනද වගේම
උඳුපියළිය ගාල මත
වැතිර ගෙන කමු
අපි රස කර,,

එහෙම කිව්ව ඔයා
හඳට යන කෝච්චියෙ
ඉස්සරහම නැඟල යන්න ගියා
මට අතකුත් වනල,,

හඳේ හෙවනැල්ල
පොළොවට වැටෙන තැන,,
නොවරදවාම හැමදාමත්
එනව කිව්ව වෙලාවටම ඇවිත්
බලන් ඉන්නව මo තාම...

ඔයාට තාම හම්බුනේ නැද්ද
කිරි පැණි??
                                                                               - සාවිගෙන් -



නුඹ එන තුරු_____

මඟ බලන දෙනුවන සනසන්න එනු මැන
සත් සමුදුරම පීරා..
කිතිකැවෙන හදවත පුරවන්න හිමිහිට
ආදරය ගෙන අතුරා..
සඳ එළිය දෝතට ගෙන ඇවිත් මා වෙත
දෝවන්න මා වතම සනහා..
නා දළු දෙතොල් පෙති සිපගන්න පෙම්වත

සුළඟ මෙන් හමනා..



ඟං දිය මම නම්______මහ මුහුද නුඹ

කහ මල් පියළි
වැටී සැරසුනු 
නිල් පැහැති ගවුම හැඳි 
ගං දිය
ගලයි හෙමිහිට 
නිදැල්ලේ නිහඬවම

සැඩ රළ පහර
කුණාටු සුළං කෝඩ
නවතා මොහොතකට
සුදු පෙණ කැටි දෑත් විහිදා
ඇයව තුරුලට ගන්නා බව
දැන දැනම
ආදරෙන්
මහ මුහුද...








ප්‍රේමය දුටු තැන___භාවනාව

මහ කැලයක් මැද..
භාවනනුයෝගීව සිටි තව්සෙක් 
කියල දුන්න මට..

''ප්‍රේමය ''
නම් වූ මාර දූතිකාවට
වශී වූ..
මාගෙ හදවත ඉන් ගලවා ගන්නා
මහා බලසම්පන්න
භාවනාවක්..

ඇය දුටු පමණින්
සිත ගත එක් තැන් කොට
අත්හදා බලනව අද පටන්
මම ඒ භාවනාව..




පෙම් සඳ________

ඉනු මැන සුපුන් සඳ සේ පායා
තුරුල් වී
පෙම් සිත සීත සඳ කිරණින් 
දෝවා,,

ඇවිද යමු ඔබ හා මා
සිහින මාවත සිසාරා
ගත වෙලී පෙමිනා,,
දෙනෙත් ගැල්වූ අඳුන නුඹ වී
පෙමින් දිදුලන තරු දෑස සිඹිනා,,

නිල් මල් විල වටා
පිපි මල් නෙලමිනා
වරලසෙහි රඳවා
තුරුල් වෙමි නුඹ හා,,




‎- ආදරය තහනම්ද මට? -

කුණු ගෑවුන ගවුම හැඳි
ජරා වාස වී ගිය
තරුණ ගතකට 
හිමි කම් කියන
සොඳුරු සිත
අ‍යැදියි ආදරය
කුසගින්න අමතකව,,

බෙන්ස් රියෙන් බැස
ටින් කබලට කාසි කොල දමා යන
ඔබේ සොඳුරු රුව සොයයි
සුපිරි වෙළඳ සැල අසල
සැම දින
පව්කාර
සිඟන මා දෑස..




ඔබ ________කොහිද?

ඔබ සොයා නෙතු..මං මුලා වී..
දහදිය කඳුලු වගුරා
වෙහෙස වී..සිනා නගන දෙතොල
තෙමයි.....,,,,,,





ප්‍රේමය______ද?

කඳුලු පිස දා සිනා රැන්දුව
වාරු නැති හද කෙලින් ඉන්දුව
මිතුරු වෙසකට මුවා වී හිඳ
ඔබේ හිත මට පෙම් කලාවද?




කළු වළාකුලට_______

අහසෙ දුරක ඉඳන්..
ගොරව ගොරව..
පා වෙලා ඇවිත්..
මගේ ඔළුවට උඩින් හිට ගත්තම මං බය උනා තමයි..
මං හිතුවෙ..මහ ධාරාණිපාත වැස්සකින් මාව තෙමල ලෙඩ කරවන්න කියල..
ටික වෙලාවකට පස්සෙ ඔයා අපහු ඈතට හුළඟ එක්ක ගහගෙන ගියා...
අව්වට මගෙ ඔළුව පිච්චෙද්දි තමයි තෙරුනේ..
වැස්සට තෙමුනත් ඔයාගෙ හෙවන කොච්චර සනීපද කියල


ජීවිතය_______ද?

ජීවිතය ලඟ නැත
අත පොවන්නේ නැත
ආදරය විසි කර
සොයන්නට යමි යන්න




සිනාසෙන තෙක්________

ගිණි අව්වට මහ වැස්සට
වේලුනු තෙමුනු
මහ කළුගලක්
ගෙන හෙමින් සීරුවට
ගල් කටුව තබමින්
මිටි පහර ගසමින්
කළු ගල් කැබළි කඩමින්
මතු කලෙමි සිත් පිත් නැති
සාලිය කුමරුවන්
අශෝක මාලා මෙන්
හැඳ පැලඳ මමත්
කොණ්ඩයට දාස් මලක්ද ගසා 

කැඩපතින් හැඩ බලා
මදක් සිනා සී
සිටගෙන පිළිරුව
ඉදිරියෙන්
බාලාසිටිමි
සිනාසෙන තෙක් කුමරුවන්
මා සමඟ




ප්‍රේමය නොවන ප්‍රේමය II

නීරස නවකතාවක
අලංකාර වූත් විච්ත්‍රවත් වූත්
පිටකවරය වගෙයි 
ඔබේ ආදරේ_________________




- ප්‍රේමය නොවන ප්‍රේමය -

හොරා ගත් හිත මතට
අතුරවා ආදරය
තැවරුවත්  හාදුවක්
හෙමි හෙමින් තොල් මතට
දැනෙන්නෙම හදවතට
''මට ඔයා පිට කෙනෙක්''



Sunday, July 17, 2011

ආදරය කරන්නවුන් කියන ජීවිතය_______

ගෙන ගියා ජීවිතය,,
විඳින්නට ඉඩක් නොතබාම,,
ආසයි මමත් දැන ගන්න,,,
පාට පාටද ජීවිතය
ආදරේ කරන්නවුන් කියන
ලෙසටම,,





රෝස පැහැ ලියුම් කවරය

නිවි නිවී දැල්වෙන
ඉටි පහන් දැල්ල යට
දෙනෙත් රතු වී බොඳව යනතුරු
හිරු නඟින යාමෙට
ලියා අහවර කෙරුනු
මගේ අවසන් කවිය
ඔබ නමින් පද බැඳුනු

බහාලූයෙමි ආදරේ පිරවූ
රෝස පැහැ ගත් පුංචි කවරෙක
කවි කතා පිරවුනු
දූවිලි වැදුනු පරණ පෙට්ටගම
ඇඳ යටින් ගෙන පිටට 

ඉබි යතුරු ගලවා තැන්පත් කලෙමි
ඔබේ ඇස නොගැටුනු
සියදහස් වර ආදරේ ලියැවුනු
කවි කොළ අතර
රෝස පැහැ ලියුම් කවරය




පර වුනු මල් __තාමත් ___සුවඳයි_______

හම්බුනා මට
රතු මල් ගවුම 
අල්මාරියක් අස්සක තිබිල,,

හොඳටම පරණයි,,
රතු පාට සායම් බොඳ වෙලා
පිච්ච මල් පරවෙලා ගිහින්,,

ආදර හාදු වැස්සකින්
ඒ මල් පිපේවි 
නැවතත්,,
ඔබ ආවොතින්,,

කොච්චර පරණ වුනත්,,
ගවුම උඩ ඒදා පිපුන මල්
තාමත් සුදු පාටයි,,
පරවුනත් තාමත් සුවඳයි,,
හරියට අපේ ආදරේ වගේ....